Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

Miss British Empire යන බෙලිඅත්තේ දොස්තර නුවන්දිකා...

Miss British Empire යන බෙලිඅත්තේ දොස්තර නුවන්දිකා...

නුවන්දිකා ලක්මාලි කියන්නේ වෘත්තියෙන් වෛද්‍යවරියක්. ඇය කුඩා කාලයේ ඉඳන්ම නිරූපණයට තිබුණු කැමැත්ත ආසාව නිසාම අද ඇයට Miss British Empire රූ රැජින තරගයට සහභාගි වෙන්න වරම් හිමිවෙලා. ලංකාව නියෝජනය කරන්න ඇගේ සූදානම වගේම ඇගේ තොරතුරු විමසන්න මෙවර කතාබහට ඇයව එකතු කරගත්තා.

* කවුද මේ නුවන්දිකා ලක්මාලි කියන්නේ?

දක්ෂ කෙනෙක් වගේම වෘත්තියෙන් වෛද්‍යවරියක්. අනෙකුත් හැකියාවන් දියුණු කරගනෙ ඉදිරියට යන්න කැමති කෙනෙක් වගේම විවිධ දේවල් අත්හදා බලාගෙන අලුත් දේවල් අත්හදා බලන්න කැමති කෙනෙක්.

* Miss British Empire රූ රැජින තරගය සඳහා කොහොමද ලංකාව නියෝජනය කරන්න ලැබෙන්නේ?

වසර දෙකක් තිස්සේ Star Now Modeling පේජ් එකේ මොඩ්ලර් කෙනෙක්. මම කැමති ජාත්‍යන්තර නිරූපණ ක්ෂේත්‍රය දක්වා යන්න. ඒ හරහා තමයි මම මේ තරගය දැක්කේ. මේ සඳහා ලංකාවේ ඒජන්ට් කෙනෙක් නැහැ. කෙළින්ම අපිව තෝරාගන්නේ අන්තර්ජාතික සංවිධායකවරුන්. මම මේ තරගයට අයැදුම් කරලා ෆොටෝ යැව්වා. ඒ හරහා තමයි මට මේ සඳහා අවස්ථාව ලැබෙන්නේ.

* Miss British Empire තරගය ගැන හැඳින්වීමක් කළොත්?

ඔස්ට්‍රේලියාවේ තමයි මේ තරගය තියෙන්නේ. මේ තරගයට රටවල් 97ක් නියෝජනය කරමින් තරගකාරියන් ඉදිරිපත් වෙන්න නියමිතයි. 2011දී තමයි බ්‍රිතාන්‍ය රූ රැජිනක් සහ ජනප්‍රිය නිළියක් වන ලිස් ෆුලර් විසින් මෙම තරගාවලිය ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ තරගය පවත්වන්නේ බ්‍රිතාන්‍යයෙන් ඔවුන්ගේ යටත්විජිත රටවල් නිදහසින් පසුව එම රටවල සංස්කෘතිය, සංවර්ධනය මොකක්ද කියලා දැන හඳුනා ගැනීමටයි මේ තරගය පවත්වන්නේ. ඒ වගේම ඔවුන්ගේ අරමුණ වෙලා තියෙන්නේ රටවල් අතර සංස්කෘතික සුහදතාව වර්ධනය කරගැනීමයි.

* මොන වගේ සූදානමක්ද නුවන්දිකාගේ තියෙන්නේ?

පළමුවැනි වතාවටයි මේ තරගය සඳහා ලංකාවෙන් සහභාගි වෙන්නේ. මම වෘත්තීය වශයෙන් නිරූපිකාවක් නොවන නිසා ගොඩක් කෑම බිම පාලනය කරලා ශරීරය පවත්වාගෙන යන කෙනෙක් ‍නෙවෙයි. නමුත් මේ තරගය සඳහා නිරෝගී ශරීරයක් තියෙන්න ඕන. ඒ සඳහා මේ දවස්වල මම මහන්සි වෙනවා. බ්‍රයන් කර්කෝවන් මහතා යටතේ නිරූපණය හදාරනවා. නිර්මාණ ශිල්පීන් එක්කත් මේ තරගය සඳහා ඇඳුම් නිර්මාණය කරගන්න මහන්සි වෙනවා.

* වෘත්තියෙන් වෛද්‍යවරියක් ලෙස කොහොමද මේ වැඩ සමබරව කරගෙන යන්නේ?

මම වෘත්තීය ජීවිතයට මුල්තැන දෙනවා. ඊට අමතරව ලැබෙන කාලය තමයි මම අනෙක් වැඩවලට යොදවන්නේ. මම, මගේ පවු‍ලේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා කටයුතු කරනවා වගේම වෝටර්ස් ඒජ් ආයතනයේ අධ්‍යක්ෂ ධුරයක් හොබවනවා.

* නිරූපිකාවක් විදියට කටයුතු කරන්නේ පුංචි කා‍ලේ ඉඳන්ම තිබුණු කැමැත්ත නිසාද?

ඔව්. මම ‍පොඩි කා‍ලේ ඉඳන්ම නිරූපණ ක්ෂේත්‍රයට කැමතියි. හැම පැත්තටම යන්න ආසාවක් තිබුණා. මගේ අධ්‍යාපන කටයුතුවලට වැඩි කාලයක් යොමුවුණ නිසා මට ගොඩක් අවස්ථාවන් මගහැරුණා. අද වනවිට මම මගේ වෘත්තියෙන් ස්ථාවර වෙලා ඉන්න ස්වාධීන කාන්තාවක්.

* වර්තමානයේ මෙරට විවිධ රූප රාජිනී තරග තියෙනවා. ඇයි මේ තරගය තෝරාගන්න තීරණය කළේ?

සමහර තරගවලට වෘත්තියත් එක්ක පෙනී සිටීමේ අපහසුතා ඇතිවෙනවා. නමුත් මේ තරගයේ පාරිශුද්ධ භාවයක් දැක්කා. ඒ අය අපේ පුද්ගලික විස්තර වගේම සියලුම දේවල් බලනවා. බ්‍රිතාන්‍යය විසින් පවත්වන තරගයක්. අපේ අධ්‍යාපන මට්ටම, රටේ සංවර්ධනය මනින්න මේ තරගය පවත්වන නිසා මට හිතුණා අනෙක් රටට අභියෝගයක් කරන්න අපේ රටට පුළුවන් කියලා පෙන්වන්න. ඒ නිසයි මේ තරගය තෝරාගත්තේ.

* වර්තමානයේ බොහෝ තරුණියන් ලස්සන වෙන්න විවිධ දේවල් කරනවා. වෘත්තියෙන් වෛද්‍යවරියක් ලෙස ඔබට මොකද කියන්න තියෙන්නේ?

මම නම් ඒ කරන කෘත්‍රිම කිසි දෙයක් අනුමත කරන්නේ නැහැ. ගොඩක් අය අද සුදු වෙන්න ඉන්ජෙක්ෂන් ගහනවා, පෙති බොනවා. ඒ හැම එකකම අතුරු ආබාධ තියෙනවා. අපිට ලාංකිකයෝ විදිහට තියෙන්නේ ලස්සන හමක්. අපේ ශරීරයට හිතකර මෙලනින් අඩු කරගෙන සුදු වෙලා අතුරු ආබාධ ඇතිකරගන්නවා. සුදු කියන්නේ ලස්සන කියලා සමාජයේ වැරදි මතයක් හැදිලා තියෙනවා. අපට ලැබිෙලා තියෙන වටිනා පාට විනාශ වෙන්න නොදී රැකගන්න එක තමයි බියුටි එක කියන්නේ.

* පුද්ගලික විස්තර මතක් කළොත්?

මගේ ගම බෙලිඅත්තේ. අම්මයි, තාත්තයි, නංගියි ඉන්නේ. මට සහෝදරයෙක් හිටියා. ඔහු මීට වසර දහයකට කලින් රිය අනතුරකින් නැතිවුණා.

* මොන වගේ සහායක්ද ඔබට ගෙදරින් ලැබෙන්නේ?

මගේ අම්මා තමයි මට ලොකු සහායක් දෙන්නේ. මගේ හැම වැඩකටම ඇය ගොඩක් උදව් කරනවා.

තිළිණි කරුණාරත්න
(රිවිර)

No comments:

Post a Comment

Bottom Ad [Post Page]