Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

මම නළුවෙක් වුණේ ට්‍රෙන්ඩ් එකට නෙවෙයි : ප්‍රමෝත්

මම නළුවෙක් වුණේ ට්‍රෙන්ඩ් එකට නෙවෙයි : ප්‍රමෝත්


ප්‍රමෝත් ගනේආරච්චි කියන්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් රියැලිටි තරගයෙන් ජනතාව අතරට ගිය ගායකයෙක්. ඔහුගේ පළමු ගීතය 'අප්පච්චී' නමින් ඔහු එළිදැක්වූවා. ගායන ජීවිතයේ වගේම රංගන ජීවිතයේ වැඩකටයුතු ගැන කියන්න ඔහු මෙවර කතාබහට එකතු වුණා.

කොහොමද ප්‍රමෝත් ජීවිතේ?

හොඳින් ඉන්නවා. ඩ්‍රීම් ස්ටාර් තරගයෙන් පස්සේ පොඩි විවේකයක් අරගෙන ඉන්නේ. ඒ අතරතුර සංගීත ප්‍රසංගවලට සහභාගි වෙනවා.

මේ දවස්වල ප්‍රමෝත්ගේ අලුත් ගීතයක් ඇහෙනවා?

ඔව් 'අප්පච්චී' කියලා ගීතයක් කළා. ඒ සින්දුව ලිව්වේ සහ තනු නිර්මාණය කළෙත් මමමයි. ළහිරු මල්ලී තමයි ගීතය සංගීතවත් කළේ.

ආදරය, විරහව මාකට් නොකර මේ වගේ ගීතයක් කරන්න හිතුවේ?

ඇත්තටම අපි චූටි කාලේ ඉඳලා අපේ අප්පච්චි අපි වෙනුවෙන් ගොඩක් කැප කිරීම් කළා. මහන්සියෙන් අපිව බලා ගත්තා. මගේ අප්පච්චිට විතරක් නෙවෙයි ඒක හැම අප්පච්චි කෙනකුටම පොදුයි. ඒක නිසාමයි මම මෙහෙම ගීතයක් කරන්න හිතුවේ.

මේක මගේ හිතට ආපු අදහසක්. අප්පච්චි කෙනෙක් ඉන්න කෙනෙක්ට සහ අප්පච්චි කෙනෙක් නැති කෙනකුටත් මේ ගීතය දැනෙනවා. ඒ වගේම මේ ගීතය කළේ ප්‍රේක්ෂකයන්ට අලුත් දෙයක් දෙන්න ඕනේ නිසා.

මේ ගීතය මාකට් කරන්න පුළුවන් කියලා හිතනවාද?

නෑ. මේ ගීතය මම කළේ අත්හදා බැලීමක් විදියට. මේ වගේ සින්දුවකට මේ වගේ මියුසික් දාන්න බෑ කියලා ගොඩක් අය කිව්වා. හැබැයි අපි ඒක කරලා බැලුවා. කිසිම මූල්‍යමය පරමාර්ථයකින් නෙවෙයි මේ ගීතය කළේ.

දැන් ඔබේම ගීත ප්‍රේක්ෂකයන්ට අහන්න ලැබෙයිද?

ඔව්. මම තවත් වෙනස් විදියෙ සින්දුවක් නිර්මාණය කළා. මගේ රසික රසිකාවියන්ට ඒ ගීතය ඉදිරියේදී අහන්න ලැබෙයි.

රියැලිටි තරගවලින් බොහෝ දෙනෙක් ක්ෂේත්‍රයට එකතු වෙනවා. ඒ අය අතරින් ඔබට ජනප්‍රියත්වයක් තියාගෙන ක්ෂේත්‍රයේ රැඳෙන්න පුළුවන්ද?

දෙරණ ආයතනයෙන් තමයි මාව ක්ෂේත්‍රයට ගෙනාවේ. ඒ වගේම තමයි මගේ ප්‍රේක්ෂක ජනතාවගෙනුත් ලොකු සහයෝගයක් මට ලැබෙනවා. දිගටම දෙරණත් එක්ක එකතු වෙලා ඒ ප්‍රේක්ෂක ආදරය ර¼දා පවත්වගන්න මට පුළුවන් වෙයි කියලා හිතනවා.

ගායකයෙක් විදියට ක්ෂේත්‍රයට ආපු ප්‍රමෝත් දැන් නළුවෙකුත් වෙලා?

ඔව්. දෙරණෙන් තමයි මාව නළුවෙක් කළෙත්. ඒකට දෙරණ ආයතනයට ස්තුතිවන්ත වෙනවා. මම දෙරණේ විකාශය වුණු පෝය නාට්‍ය දෙකකට රංගනයෙන් දායක වුණා.

"සසල" කියන නාට්‍යයේ හර්ෂණ කියලා වෛද්‍යවරයකුගේ චරිතයත් තමයි මම මුලින්ම කළේ. දෙවැනියට කළේ හෘද සාක්ෂිය කියන නාට්‍යයේ දිනේෂ් කියලා චරිතයක්. ඒක ටිකක් නපුරු, සැර චරිතයක්. මට ඒ අවස්ථාව ලබා දුන්න ඩිලුක අයියාට ස්තුතිවන්ත වෙනවා.

ප්‍රමෝත්ට නළු භූමිකාව නියෝජනය කරන්න ලැබුණේ අහම්බයකින්ද?

ඇත්තටම රංගනය අහම්බයක් තමයි. ලැබුණු අවස්ථාවත් එක්ක තමයි මම රංගනයට ආවේ. මම ඩ්‍රීම් ස්ටාර් තරගයෙන් ඉවත් වෙද්දී එක පාරක් සමිතා මැඩම් කිව්වා මාව දෙවැනි ඉනිම නාට්‍යයේ බලන්න ආසයි කියලා. ඒ හරහා ප්‍රේක්ෂකයාත් කැමැති වුණා මාව රංගනයෙන් දැක බලා ගන්න.

අහඹු විදියට ලැබෙන දේවල් කරන එක අභියෝගයක් කියලා හිතුණේ නැද්ද?

අපිට හැමදේකදීම risk එකක් ගන්න වෙනවා. ජීවත්වෙනවා කියන්නේ සහ ජීවිතේ කියන්නේ පඪඵඬ එකක්. අපිට අභියෝගයක් වෙන දේවල් භාර ගන්න ඕන. අපි නොමැරී ඉන්න නම් ජීවිතේ අනිවාර්යයෙන්ම risk එක කියන දේ ගන්න ඕන.

ගායකයන්, නළුවන් වෙන එක දැන් ට්‍රෙන්ඩ් එකක්නේ. ඒ ට්‍රෙන්ඩ් එකට යන්නද ප්‍රමෝත්ටත් ඕන වුණේ?

නෑ. මට අවස්ථාවක් ලැබුණා රංගනයට දායක වෙන්න. ඒ හරහා තමයි මම රංගනයට ආවේ. එහෙම නැතුව ට්‍රෙන්ඩ් එකට නෙවෙයි. ලැබුණු දේ භාරගෙන හොඳට කළා කියලා හිතෙනවා. රංගනයට තවත් ආරාධනා ලැබිලත් තියෙනවා.

ප්‍රමෝත් ගායනයටද නළුකමටද වඩාත් කැමැති?

මම මුලින්ම ජනතාව අතරට ආවේ ගායකයෙක් විදියට. ඊට පස්සෙ දෙරණෙන් ලබා දීපු සහයෝගයත් එක්ක රංගනයට පිවිසුණා. මම රංගනයට ගායනයට වගේම නිරූපණයටත් කැමැතියි.

නළුවා නිසා ගායකයා අතුරුදන් වෙයිද?

මම හිතන්නේ නෑ එහෙම වෙයි කියලා. මම සංගීතයට ගොඩක් ආදරය කරනවා. රඟපෑම් කටයුතුත් කරගෙන ගායකයා කියන චරිතය ඒ විදියටම තියාගෙන ඉන්නවා. ඒ අතර නිරූපණයෙනුත් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.

ඉදිරි වැඩකටයුතු මොනවාද?

මගේ අලුත් ගීතයක් එළිදක්වන්න තියෙනවා. සංගීත වැඩ කටයුතු, රංගනය වගේම නිරූපණ කටයුතුවලටත් මම කැමැතියි. ඒ වගේම මගේ අධ්‍යාපන කටයුතු ඒ හැම දේම එක්ක සමබරව කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

(උදාරා ඉන්දීවරී ජිනදාස)

No comments:

Post a Comment

Bottom Ad [Post Page]